ඔබට පිහිටවෙන සුරදූතිය වෙනත් ආගමක ඇඳුමකින් එන්න පුළුවන්, ඒ කොහොමද?

ඕනෑම හැඩයක් ආදරෙන් වැළඳගන්න ඔබට පුළුවන් නම් ඔබට ඔබේ හොඳම version එක වෙන එක හරිම පහසුයි.

අවුරුදු ගාණකට උඩ අතීතයේ එක දවසක මම කළුතර මහජන පුස්තකාලයේ තනියෙන් උසස් පෙළට පාඩම් කර කර හිටිය. සුන්දර සාරා මගේ ළඟින් ඇවිත් වාඩි වුණා. දඟකාර ෆාතිමා සම්හා ත් ඒත් එක්කම මගේ අනිත් පැත්තෙන් වාඩි වුණා

එදා නිකමට හොරෙන් හොරෙන් කතා කරන්න පටන් ගත්තු අපි පුස්තකාලය අපේ හමුවීමේ තිප්පල කරගත්තා. සම්හා පළමුවන වර ජීව විද්‍යාව අංශයෙන් විශ්වවිද්‍යාල වරම් ලැබුවත් සිය වෛද්‍ය විද්‍යාලයේ ඒ වනවිට සිටින සිය බෞද්ධ පෙම්වතා වෙනුවෙන් රෑ දවල් වෙහෙසී නැවත විභාගයට පාඩම් කළේ කෙසේ හෝ වෛද්‍ය පීඨයට යාමටයි.

වානිජ්‍ය අංශයෙන් උසස් පෙළ හැදෑරූ සාරා ද සිය වසර ගණනාවක් පැරණි පෙම පිළිබඳව මතක් කරමින් පාඩම් කළා. ප්‍රේමය පිලිබඳ මට විශාල අවබෝධයක් නොතිබුණත් ඔවුන් දෙදෙනාගේ ආදරය රස විඳින්න මං හරිම කැමැත්තක් දැක්වූවා. දවස් ගෙවුණා සම්හා ගේ සහ සාරා ගේ ආදරය එක්ක මම පාඩම් කරා. 

උඩින් මොන විදිහේ ඇඳුම් ඇන්දත් මොන ආගමක් ඇදහුවත් ඔබේ ජීවිතය වෙනස් කරන සුරංගනාවන් ඔය ඕනෑම හැඩයකින් එන්න පුළුවන්..“

එක දවසක් සම්හා එයාගේ හිත හදාගන්න සාරා එයාට දීපු පොතක් කියවල ඉවර කරලා මට දුන්නා කියවන්න. උසස් පෙළ විභාගය ළඟ ආවත් පොත් කියවන්න පෙරේත මම සාරගේ පොත ආසාවෙන් අතට ගත්ත. How to win friends and influence people ඩේල් කානගී ගේ පොත..
 

මම ඒක ගෙදර අරන් ගිහින් කියවන්න ගත්තා. දවස් තුන හතරකින් මම පුස්තකාලයට ගියත් සාරා වත් සම්හාවත් මට ආයේ මුණ ගැසුණේ නැහැ. ඒ දෙන්නා කියවල මට දීල ගිය පොත මම ඔක්කොම පැත්තකට දාල කියෙව්වා.

මිනිස්සුන්ව දිනන්නේ කොහොමද? එයාලගේ ප්‍රශ්න අන්දුරගන්නේ කොහොමද? අරමුණු ජයගන්නේ කොහොමද මම කියෙව්වා, අවුරුදු 19 දී. ඒ පොත තමයි ඒ කාලේ මගේ අත් පොත. ක්‍රිස්තියානි සාරා ත් ඉස්ලාම් සම්හාත් දාපු අත්තිවාරම උඩ මම අද මාළිගාවක් හදනවා.

ඒත් ඉඳල හිටලා ඒ දෙන්නවම මම හොයනවා. කවදාවත් මුණ ගැහුණේ නැහැ. ඒ දෙන්නම මේ පුංචි ලෝකේ කොහේ හරි තැනක ආදරේ විඳිමින් සතුටින් ඉන්නවා ඇති කියල මම විශ්වාස කරනවා. මගේ ජීවිතේ මානසිකව කඩා වැටුණු තරුණ කාලේ ඒ පොත මාව උඩින් උස්සල තිබ්බා, සාරාගේ සහ සම්හාගේ මතකයත් එක්ක. 

උඩින් මොන විදිහේ ඇඳුම් ඇන්දත් මොන ආගමක් ඇදහුවත් ඔබේ ජීවිතය වෙනස් කරන සුරංගනාවන් ඔය ඕනෑම හැඩයකින් එන්න පුළුවන්.

ඕනෑම හැඩයක් ආදරෙන් වැළඳගන්න ඔබට පුළුවන් නම් ඔබට ඔබේ හොඳම version එක වෙන එක හරිම පහසුයි. කළුතර මහජන පුස්තකාලේ පාඩම් කරන්න ගිය ෆාතිමා සම්හා සහ ලස්සන රූ සපුවක් තිබ්බ සාරා කොහේ හරි දන්න කෙනෙක් හිටියොත් මගේ පණිවිඩය දෙන්නත් අමතක කරන්න එපා.

මම නදීපා රණසිංහ Nadeepa Ranasinghe

Tags :
My Blog
Share This :

One Response

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× WhatsApp for more info